Blog Archives

කර්මය හා බුදු දහම

මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
(සෑම දෙයකටම සිත මුල් වේ)
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
(සිත නරක් කරගෙන කරන ක්‍රියාවන් නිසා…)
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
(කරත්තෙ බැඳි ගොනා පස්සෙන් එන රෝදය වගේ දුක් විපාක ඔහු පසුපස ලුහු බදී.)
(ධම්ම පදය, යමක වග්ගය 1:1)

Image

බුදු දහමට අනුව කර්මය යනු මනුෂ්‍යයා විසින් සිදු කරන හොඳ හෝ නරක ක්‍රියාවන් වේ.හොඳ ක්‍රියා කිරීමෙන් යහ පල මෙන්ම නරක ක්‍රියාවන්ගෙන් අසුභ පලද මනුෂ්‍යයා විසින් ලබා ගනී.කර්මය පිලිබඳ ව ධම්ම පදයේ යමක වග්ගයේ 1 : 1  මගින් ඉහත පරිදි විස්තර වේ.කර්මය වනාහි සෑම පුද්ගලයෙකුටම පොදු ධර්මතාවයකි.ඔහුගේ  හෝ ඇයගේ කර්ම ඵලය කුමන දහමක් ඇදහුවද කුමන ජන වර්ගයක ජන්මය ලැබුවද යන්න මත තීරණය නොවේ.එය තීරණය වන්නේ ඔහු හෝ ඇය කරන යහපත් හා අයහපත් ක්‍රියාකාරකම් විසිනි.

අපි මුලින්ම කර්මය ගැන ටිකක් ගැඹුරින් කල්පනා කරමු.ඕනෑම කර්මයක් සඳහා මුල් වන්නේ තමාගේ සිතයි.සිත හෙවත් චිත්තය යන්න අප සංසාරයේ කොතරම් දුර ගමන් කරනවාද යන්න තීරණය කරන සාධකයක් ලෙසට දැක්විය හැක.සිත මුල් කරගෙන කරන ඕනෑම ක්‍රියාකාරකමක් කර්මයක් ලෙසට විග්‍රහ කල හැක.යහපත් සිතින් කරන කි‍්‍රයා කුසල ගණයටත් අයහපත් සිතින් කරන ක්‍රියා අකුසල ගණයටත් වැටේ. තම තමන් සිදුකරන යහපත් හෝ අයහපත් ක්‍රියාවන්ගේ විපාක විඳීමේ වගකීම පැවරෙනුයේ තමාටමය. එය වෙනත් අයෙකුට පැවැරිය නොහැකියි. ‘ දුක්ඛෝ පාපස්ස උච්චයෝ’ යනුවෙන් බෞද්ධ දර්ශනයේ සඳහන් වන්නේ වැරැදි කළොත් ඒ වැරැද්ද නිරන්තරයෙන් තමන් විසින් විඳවිය යුතු බවයි.

ඇතැම් කර්මයන්ගේ විපාක මේ ජීවිතයේදීම ලැබෙනු ඇත. ඒවා හඳුන්වන්නේ දිට්ඨධම්ම වේදනීය කර්ම ලෙසයි. සමහර කර්මයන්ගේ විපාක ඊළඟ භවය තුළ විපාක ලෙස ලැබෙන අතර ඇතැම් කර්ම විපාක සසර කුමන ආත්මභවයකදී හෝ විඳීමට පුද්ගලයාට සිදුවෙයි. ‘තතොනං දුක්ඛමන්වේති චක්කංව වහතො පදං’ යනුවෙන් ධම්මපද පාලියේ පළමු ගාථාවෙන් පෙන්වා දෙනු ලබන්නේ පුද්ගලයා සිදුකරන අයහපත් කර්මවල දුක්ඛ විපාක ගැලබැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් තමා පසුපස පැමිණෙන බවයි.

එලෙසම ‘තතෝනං සුඛමන්වේති – ඡායාව අනපායිති’ යනුවෙන් දැක්වුයේ පුද්ගලයා සිදුකරන යහපත් ක්‍රියාවන්හි සැප විපාක තම සිරුර අතහැර නොයන සෙවනැල්ල මෙන් තමා පසුපස පැමිණෙන බවයි.

පුද්ගලයාට දුක්ඛ විපාකත් සැප විපාකත් අත්විඳීන්නට ලැබුණ අවස්ථාවන්ට උදාහරණ බෞද්ධ දර්ශනය තුළ නිරන්තරයෙන් සඳහන් වෙයි. කෝපයට පත් වී කාන්තාවකගේ ඇස් අන්ධ කළ වෛද්‍යවරයෙකු සසර නොයෙක් දුක්විඳ අවසාන ආත්ම භාවයේදී ඇස්දෙක අන්ධවීමට භාජනය වීම පිළිබඳ කර්මඵල විස්තරයක් චක්ඛුපාල තෙරුන්ගේ කථාවස්තුවෙන් පැහැදිලි කැරේ. මුගලන් මහරහතන් වහන්සේ සොර කල්ලියකගේ පහරට ලක්වී පරිනිර්වාණයට පත්වීමටද හේතුවූයේ උන්වහන්සේ පෙරභවයක කළ අකුසල කර්මයක විපාක ලෙසය. ඌරන් මැරීම ජීවිකාව කරගත් අයෙකු මෙලොවදී නොයෙක් දුක්විඳ පරලොව අපාගතවීම පිළිබඳ පුවත චුන්දසුකර කථාවස්තු වෙන් පැහැදිලි වෙයි. “කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ “ යන වදන් පෙළෙහි යථාර්ථය ඉහත සඳහන් වූ කර්මඵල දුක්ඛ විපාක අනුව මැනැවින් හෙළිදරව් කෙරේ.

පෙළ දහමේ සඳහන් වන ශ්‍රේෂ්ඨ බෞද්ධ උපාසකවරු වශයෙන් ශාසනයට හිතකාමි ලෙස කටයුතු කරමින් කුසල් දහමින් පෝෂණය වූ බන්දුල මල්ලිකාවන් විශාකාවන් අනේපිඬුසිටුතුමන්, ධම්මික උපාසක තෙමේ යනාදී පිරිස් මරණින් පසු සුගතිගාමිව උපන්බව පිළිබඳ කියැවෙන කථාපුවත් තුළින් කුසල දහම්හි සැප විපාක නිතැතින් පුද්ගලයා වෙතම පැමිණෙන බව අවධාරණය කරගත හැකි වෙයි.

පුද්ගලයා කරන කියන කටයුතුවලට විපාක විඳීමට නියත වශයෙන්ම සිදුවෙයි. කර්මය හා විපාකය අතර සම්බන්ධය වටහාගන්නා තැනැත්තා දුසිරිත් වලින් හැකිතාක් වෙන්ව, සුසිරිත් පුහුණු කිරීමට උත්සාහ ගනී. පුද්ගලයෙක් යම් යහපත් ක්‍රියාවක නියැළෙන්නේ නම් නැවත නැවත එවන් ක්‍රියාවන්ම සිදුකිරීමට පෙළඹිය යුතුවේ. සමාජීය පුද්ගලයා දූෂණයෙන් වංචාවෙන් තොරව අවංකව, සාධාරණව කරන කියන ක්‍රියාවන්ගේ සාර්ථක ප්‍රතිඵල නියත වශයෙන් ජීවන ඉදිරිගමනේදී හිමිවනු ඇත. පුද්ගලයාගේ යහපත් සිතිවිලි ප්‍රගුණ කිරීම තුළින් පවෙන් අත්මිදි කටයුතු කිරීමේ හැකියාව පුද්ගලයාට අත්වෙයි.

පුද්ගලයා වැරැදි සංකල්ප බැහැර කරමින් සදාචාරාත්මක ගති පැවැතුම් ඇතිකර ගනිමින් සසර දුකෙහි භයංකාර බව තේරුම් ගනිමින් දුක්ඛිත සසරින් එතෙරවීමට උත්සාහ කළ යුතුය. කර්මයෙහි විපාක නිසිලෙස අවබෝධ කරගත යුතුය. කර්මය ජීවිතය කෙරෙහි බලපාන එක් කරුණකි. ඇතැම් පුද්ගලයෙකු අඩු වයසින් මිය යෑමටත් ඇතැම් පුද්ගලයෙකු දීර්ඝායුෂ විඳීමටත් හේතුව කුමක්දැයි මොහොතක් සිතා බලන්න. ඇතැමෙකු නිතර රෝගීවීමටත් ඇතැමෙකු නිරෝගී විමටත් පුළුවන. මේ අනුව පුද්ගලයාගේ බොහෝ වෙනස්කම්වලට කර්මය බලපානු ලබන බව පෙනේ. යහපත් කර්ම සිදුකරමින් සැප විපාක උදාකර ගැනීමට පුද්ගලයා උත්සාහවන්ත වන්නේ නම් ඉන් තමාටත් මුළුමහත් සමාජයටත් සිදුවන්නේ මහත් සෙතකි. අස්වැසිල්ලකි.

අපි මොහොතකදී ලබන සියුම් වේදනාවට පවා හේතුවන්නේ පෙර කර්මය බව ඔබ මොහොතකටවත් සිතුවාද?එමෙන්ම අප කුමන දෙයකට හෝ ඇලී ගැලී ක්‍රියාකිරීම මගින් අප ගේ සංසාර ගමන තව තවත් දිගු වන බව ඔබ මොහොතකටවත් සිතුවාද? සත්‍යය එයයි.එබැවින් අපද නොපමාව පවෙන් වැළකී නිතර පින්දහම් වල යෙදීමට උත්සුක වෙමු.එය මෙලොව මෙන්ම පරලොව දියුණුවටද හේතු වේ.අවසානයේ දී අමාමහ නිවනෙන් සැනසීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ සැමට තෙරුවන් සරණයි!

 

බුදු දහම විනාශ කිරීමට සෑරසෙන මූලදර්මවාදීන් පරාජය කරමු……… ඔබගේ අදහස් යොමු කරන්න …..!

අන්තර්ජාලයේ බොදු ලකුන ………….!sinhalayasl.wordpress.com